පොහොට්ටු අපේක්‍ෂකයා එළියට එන දවස ප්‍රසන්නගෙන්

මහින්ද රාජපක්ෂ යුගයේ අඳුරෙන් එළියට ආ ජනතාවට අද නැවත වරක් අඳුරේ සිටින්නට සිදුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩුව බලයට ආවේ රටම එළිය කරනවා කියලයි. හැබැයි බලයට ඇවිත් අවුරුදු හතරක් යන කොට දැන් රටම අඳුරේ. මහින්ද රාජපක්ෂ යුගයේ සීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් අඳුරෙන් එළියට ගෙනා රට යළිත් අඳුරට වැටෙන එකට එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන් වගකිව යුතුයි. අද රට විනාශ වෙලා තියෙන්නේ එ. ජා. පයේ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසයි.

කරුවල ජයසූරියගෙන් පසුව ලයිට් කපපු එකම ආණ්ඩුව වශයෙන් යහපාලන ආණ්ඩුව ඉතිහාසගත වෙනවා. එදා කරුවල ජයසූරිය කරන්ට් කැපුවා, අද රවී කරුවලනායක කරන්ට් කපනවා. එක පැත්තකින් ත්‍රස්තවාදය නිමා කරන්නට දරුණු යුද්ධයක් කරන අතරම අනෙක් පැත්තෙන් දැවැන්ත ආර්ථික අර්බුද, තෙල් අර්බුද වැනි අර්බුද ගණනාවකට මුහුණ දෙමින් වුනත් සංවර්ධනය අතින් රට ඉදිරියට ගෙනියන්න මහින්ද මහත්තයා සමත් වුණා.

මහින්ද මහත්තයාගේ දශකයක පාලන සමය නිමා කෙරෙන කොට මේ රටේ සියයට සියයක් ජනතාවට විදුලිය දෙන්නට සමත් වුණේ ඉහළ කොත්මලේ, නොරොච්චෝලේ වැනි බලාගාර ගණනාවක් රටට දායාද කරපු නිසයි. රටේ සෑම ක්ෂේත්‍රයක් ගැනම අවධානය යොමු කරලා එක හ සමාන සංවර්ධනයක් රට පුරා ඇති කරපු නිසා රටම එළිය කෙරුණා.

ඒ ආකාරයට ජාතියට දායාද කරපු ව්‍යාපෘති ටික කුණු කොල්ලයට විකුණලා දානවා හැර එක්සත් ජාතික පක්ෂය මේ වසර හතරේ මොකක්ද කළේ? හම්බන්තොට වරාය විකුණන් කෑවා. මත්තල විකුණන් කන්න යනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ ගෙදර තියෙන බඩු විකුණගෙන කන එකයි. තව අවුරුද්දක් මේ අය බලයේ හිටියොත් විකුණන්න වෙන්නේ ජනතාව තමයි.

බලයට ඇවිත් මහ බැංකුව සුද්ධ කරපු අය දැන් එකා දෙන්නා අත්අඩංගුවට ගැනෙනවා. එක්සත් ජාතික පක්ෂය යටතේ වසර හතරක් පොලීසිය තිබුණත් වැරැදිකරුවන් අල්ලන්න බැරි වුණා. එහෙම වුණේ බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා නිසයි. ලොකු හොරා අල්ලන්නේ නැතුව පොඩි හොරු අල්ලලා වැඩක් නැහැ. ඒ නිසා වහාම ප්‍රධාන චූදිතයන් අත්අඩංගුවට ගන්න ඕනේ.

අපි දැක්කා පහුගිය දවසක හම්බන්තොට පැත්තේ තෙල් පිරිපහදුවක් විවෘත කරනවා කියලා ලොකු නාඩගමක් නැටුවා. ඕමාන රජයේ ව්‍යාපෘතියක් කියලා අඬබෙර ගැහුවට ඒ වගේ ව්‍යාපෘතියක් ගැන ඕමාන රජය දැනගෙන තියෙන්නෙත් පත්තරෙන්. ඕමානයටත් හොරෙන් ඕමාන ව්‍යාපෘතියකට මුල්ගල් තියපු අගමැතිවරයට හරි නම් ගිනස් වාර්තාවක් හිමි විය යුතුයි.

බංකොලොත් වෙලා ඉන්න එක්සත් ජාතික පක්ෂය ජනතාව රවට්ටන්න හදන්නේ මේ වගේ දේවල් කරලයි. මේක පළමු වතාව නෙමෙයි. අකිල විරාජ් එක පාරක් ජර්මනියටත් හොරෙන් කුලියාපිටිය පැත්තේ වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් විවෘත කළා. ආණ්ඩුව ලොකුවට කෑගහන ඔක්කොම ව්‍යාපෘති එක්කෝ බොරු ඒවා. එහෙමත් නැත්තම් පසුගිය රජයෙන් ආරම්භ කරපුවා.

දැන් උදා වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ගමනක අවසානයයි. රටේ ජනතාව තීන්දු කර අවසන් යළිත් වතාවක් එක්සත් ජාතික පක්ෂයට මේ රටේ බලය දෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි එ. ජා. පයේ හොරු රැල මේ වගේ බොරු කිය කියා ජනතාව රවට්ටන්න හදන්නේ. හැබැයි ජනතාව අන්තිමට රැවටුණේ 2015යි. ආයෙත් වතාවක් රැවටෙන්න මේ ජනතාව සූදානම් නැහැ.

තිස් වසරක ත්‍රස්තවාදයක් නිමා කරපු රටක් වශයෙන් ගත්තම අද අපේ රටට උදා වෙලා තියෙන ඉරණම ගැන අපට කණගාටුයි. අපේ හමුදා විරුවන් ජාත්‍යන්තරයට පාවා දෙන ආණ්ඩුවකින් රටට පලක් නැහැ. ආණ්ඩුව කරන්න ඕනේ රණවිරුවන් රැකගන්න එකයි. හැබැයි මේ ආණ්ඩුව ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙලා රණවිරුවන් දඩයම් කරන්න පටන් ගෙන තිබෙනවා.

ලංකාවට එරෙහිව ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයට ගේන යෝජනාවට සම අනුග්‍රාහකත්වය දරන්නෙත් ලංකාවමයි. ලෝකේ මොනම රටක්වත් මේ වගේ විහිලු කරන්නේ නැහැ. විශේෂයෙන් රණවිරුවන් කියන්නේ ඕනෙම රටක ගෞරවයට පාත්‍ර වන පිරිසක්. එවැනි පිරිසක් පාවා දීලා හෝ බලයේ රැඳී ඉන්න උත්සහ දැරිම ගැන ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕනේ.

තව වැඩි කාලයක් මේ ආණ්ඩුවට ජනතාව රවට්ටන්න අපි ඉඩ තියන්නේ නැහැ. මේ උදා වෙලා තියෙන්නේ ආණ්ඩුවේ අවසානයයි. තව මාස පහකින් මේ රටේ ඉන්නේ අලුත් ජනාධිපතිවරයෙක්, අලුත් ආණ්ඩුවක්. ඒ ජනාධිපතිවරයා වගේම ආණ්ඩුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බිහිවන බව නිසැකයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here