මහේන්ද්‍රන් ගැන සිංගප්පුරු වාර්තාව බොරු

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට භාරදීම සම්බන්ධයෙන් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරියකු කළ බවට පළවී ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට භාරදීම සඳහා නිසි පියවර සිංගප්පූරු රජය විසින් ගෙන නොමැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ චෝදනා එම රජය ප්‍රතික්ෂේප කරන බවත් ඔහුව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා කිසිදු නීතිමය නීතිමය ලියවිල්ලක් තමන් වෙත ලැබී නොමැති බවත් එරට මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් පුවත් පළවී තිබිණි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ, එම වාර්තා පළවී ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂියෑං ලූං මහතාගෙන් මෑතකදී කළ ඉල්ලීම පිළිබඳ නිල ප්‍රකාශය පදනම් කරගෙන බවත් සිංගප්පූරු රජය විසින් මෙතෙක් ඒ සම්බන්ධ කිසිදු නිල ප්‍රකාශයක් ශ්‍රී ලංකාවට ලබාදී නොමැති බවත්ය.

එහෙත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රජය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා හරහා නිල ඉල්ලීමක් කර ඇත්තේ 2018 මැයි 28 වනදා බවත් එම ඉල්ලීම සම්බන්ධයෙන් එරට නීතිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවට එරට විදේශ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත්වරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාව පදන කරගනිමින් 2018 අප්‍රේල් 19 වන දින ජාත්‍යන්තර පොලිසිය මඟින් නිකුත් කළ රතු වරෙන්තුව ද එම උදර්පණ ඉල්ලීම සමඟ සිංගප්පූරු රජය වෙත යැවූ බවත් එම නිවේදනයේ සඳහන්.

එහෙයින් ඔහුව උදර්පණය කිරීම සඳහා අවශ්‍ය හරයාත්මක තොරතුරු ලබාදී තිබිණු නමුත් ඔහුට අදාළ චෝදනා සම්බන්ධ වැඩිදුර කරුණු පැහැදිලි කරන ලෙස සිංගප්පූරු නීතිපතිවරයා ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවත් මෑතකදී ලැබුණු එම ලිපිය අනුව නීතිපතිවරයා මේ වනවිට කරුණු සකස් කරමින් පවතින බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් සිංගප්පූරු විදෙස් අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු කළ බවට පැවසෙන වාර්තාවක් පදනම් කරගනිමින් මාධ්‍යවල පළවූ පුවත් කිසිසේත් සිංගප්පූරු රජයේ නිල ප්‍රකාශ වශයෙන් පිළිගත නොහැකි බවයි ජනාධිපති මාධ්‍ය ඒකක කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here