Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අබාධිත පුද්ගලයින්ට රක්ෂණයක්

ඡන්ද හිමි නාම ලේඛණයේ අබාධිත පුද්ගලයාගේ නම  ඉදිරියෙන් ඔහුගේ ආබාධය කුමක්ද යන්න සඳහන් කිරීමෙන් එම අයට අවශ්‍ය සුවිශේෂී පහසුකම් සපයා දීමේ හැකියාව තිබෙන බවත් ඔවුන් සදහා රක්ෂණයක් ක්‍රියාත්මක කල යුතු බවත්  පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

සමාජ සවිබල ගැන්වීමේ  අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය විවාදයට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කළ කතාව මෙසේයි.

සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශ විෂය ක්ෂේත්‍රය පිළිබඳව කතා කරද්දී විශේෂ අවශ්‍යතාවයන් ඇති පුද්ගලයන් පිළිබඳව අප කතා කළ යුතුයි. එදා මෙම අමාත්‍ය ධූරයේ සිටියේ එස් බී දිසානායක අමාත්‍යතුමන්. ආබාධිත පුද්ගලයන් පිළිබඳ ජාතික සභාවේ සාමාජිකත්වය අප විසින් ඉල්ලා තිබුණා ආබාධිතයන් පිළිබඳ ජාතික සමිති සම්මේලනයේ ලේකම් රසාංජලී පතිරගේ මහත්මියට.  ඒ වගේම ඇමතිතුමන් හමුවමේ දුෂ්කරතාවක් සම්බන්ධයෙන් ද සඳහන් වුණා.  අමාත්‍යතුමා ඒ අවස්ථාවේම නැගී සිටි රසාංජලී පතිරගේ මහත්මිය ජාතික සභාවට පත් කරන්නට පොරොන්දු වුණා. පසුවදා ආබාධිතයන් පිළිබඳ ජාතික සමිති සම්මේලනයට තමන් හමුවීමට අවස්ථාව ලබාදුන්නා. ඒ වගේම නියමිත වේලාවටම අමාත්‍යතුමන් ඔවුන් හමු වුණා. නිලධාරීන් කැඳවලා විශාල ප්‍රශ්න ගණනක් ඒ මොහොතේම විසඳන්නට කටයුතු කළා. අද එතුමන් එම අමාත්‍යධූරයෙන් නැතත් විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු විසින් මතුකල කාරණය පදනම් කරගෙන එලෙස ක්ෂණික ප්‍රතිචාර දැක්වීම පිළිබඳ එස් බී දිසානායක හිටපු අමාත්‍යතුමන්ට මාගේ ප්‍රණාමය පුද කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

ඇමරිකානු ඉතිහාසයේ ඇමරිකාව වැඩිම කාලයක් පාලනය කළ ජනාධිපතිවරයා කවුද ? ඇමෙරිකාව දැවැන්තම ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගත්  ජනාධිපතිවරයා කවුද ?  දෙවන ලෝක යුධ සමයේ මිත්‍ර පිලට නායකත්වය ලබා දීලා ඇමරිකාව ලෝක බලවතෙකු ගේ තත්වයට ඔසවා තැබූ ජනාධිපතිවරයා කවුද ? ඇමරිකානු ඉතිහාසයේ බිහිවුණු විශිෂ්ටතම ජනාධිපතිවරයා කවුද ? මේ ප්‍රශ්න සියල්ලටම උත්තරය  ප්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් ජනාධිපතිතුමන්. ඇමරිකාවේ හතර වතාවක් ජනාධිපති ධූරයට පත්වූ එකම ජනාධිපතිතුමන් එතුමායි.   1933 සිට 1945 දක්වා එතුමන් අඛණ්ඩව ජනාධිපති ධූරයේ සිටියා. එතුමා 1933 ජනාධිපති ධූරයට පත් වෙන විට ඇමෙරිකාව ඉතා දැඩි ආර්ථික අවපාතයක තිබුණා. එහෙම ආර්ථික අවපාතයෙන් ඇමරිකාව ගොඩ ගත් නිසා 1936 විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් දෙවන වතාවටත් ජනපති කමට පත් වුණා. දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාව සතු දේශපාලන ආර්ථික හැකියාවෙන් මිත්‍ර පිලට නායකත්වය ලබාදෙමින් මිත්‍ර පිල ජයග්‍රහණය කරා මෙහෙයවූවා. නැවතත් එතුමා ජනාධිපති බවට පත්වුණා.  1945 දී සිව්වන වතාවටත් ජනාධිපතිවරයා ලෙස පත් වෙලා ජනපති පුටුවේම මිය නොගියා නම් ලී ක්වාන් යූ වගේ මහතීර් මොහොමඩ් වගේ නැවත නැවතත් ජනාධිපති වෙන්න එතුමාට හැකියාව තිබුණා.

ඇමෙරිකාව බිහි කළ විශිෂ්ටතම ජනාධිපතිවරයාගේ සුවිශේෂී කාරණය තමයි ඔහු 1921 දී පෝලියෝ රෝගයට ගොදුරු වී දෙපා අප්‍රාණික භාවයට පත් වූවෙකු වීම. ඔව් සිව් වතාවක් ම ඇමරිකාවෙ ජනාධිපති ධූරය දැරුවේ ආර්ථික අවපාතයෙන් ඇමෙරිකාව ගොඩගත්තේ ලෝක බලවතෙකු ලෙසින් ඇමෙරිකාව ඔසවා තැබුවේ ආබාධ සහිත පුද්ගලයෙකු ලෙස සිටිමිනුයි. එතුමාගේ පාද අප්‍රාණික වුවත් මොළයත් කටත් හොදින් වැඩ කළ නිසා තමයි එතුමාට එම කටයුතු හොඳින් ඉටු කරන්නට පුළුවන් වුණේ.  ඒ නිසාම වෙන්න ඇති බටහිර ලෝකයේ ආබාධිත පුද්ගලයන් වෙනස් වූ හැකියාවන් ඇති පුද්ගලයන් ලෙසින් හඳුන්වන්නේ.

ඒ හැකියාවන් තිබුණා වගේම ජනාධිපතිධූරය කරා ගමන් කිරීමට අවශ්‍ය සමාජ වාතාවරණයක් ඇමරිකාවේ සැකසී තිබුණා. ඔහු ආබාධ සහිත පුද්ගලයෙකු වුවත් ඔහුට ලෝකයේ බලවත්ම රටේ බලගතුම පුද්ගලයා වන්නට එම ආබාධ බලපෑවේ නැහැ. ආබාධිත අය පිළිබඳව වෙනස් කම් සහිතව එම සමාජය නොබැලීම ඊට එක හේතුවක්. සෑම පුද්ගලයකුටම සම අවස්ථාව ලැබෙන සමාජ වාතාවරණයක් 1933 වැනි ඈත යුගයක ඇමරිකා එක්සත් ජනපදයේ සකසා තබන්නට ඒ සමාජ වගකීමෙන් කටයුතු කර තිබුණා.  එය තමයි වඩාම වැදගත් හේතුව.

අද නොවේ හෙට ප්‍රතිපත්තියෙන් ආබාධ සහිත පුද්ගලයන්ටත් සලකමු ?

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් කියනව ජාතිය ආගම කුලය වැනි සියලුම කාරණා මත වෙනස් කර පුද්ගලයන්ට සලකන්නට බැහැයි කියලා. වෙනස් කොට සලකන්නට බැහැයි කිවුවහම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ටත් සම අවස්ථාව ලබාදිය යුතුයි.  එසේ සම අවස්ථාව ලබාදීමට නම් ඔවුන්ගේ ඇතිවෙලා තිබෙන දුර්වලතාවය සමනය වන වටපිටාවක් ඔවුන්ට සකසා තිබිය යුතුයි. අප අතින් ඒ දේ ඉටු වෙලා තිබෙනවාද ?

සමාජ සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කළ 2006 අංක 1 දරණ ආබාධිත තැනැත්තන් ට ප්‍රවේශ ලබාදීමේ රෙගුලාසිය යටතේ නම් පාදවල ආබාධ සහිත වූවෙකුට මහල් ගොඩනැගිල්ලකට යාමට  සෑම ගොඩනැගිල්ලකට ම ඇතුළුවීම සඳහා බෑවුම් මාර්ගයක් සකසා තිබෙන්නට අවශ්‍යයි රෝද පුටුවෙන් ඇතුල්වීම සඳහා.  ඒ වගේම විදුලි සෝපානයේ ඇතුලට රෝද පුටුව ඇතුල් කිරීමේ අවකාශය තිබිය යුතුයි. වාඩිවන ස්ථානයේ සවිකර ඇති පුටුව ඉවත් කරලා රෝද පුටුව තබා ගැනීමේ අවස්ථාව තිබිය යුතුයි. 2006 මෙය රෙගුලාසියක් වශයෙන් ගෙන ආවා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ.  2009 දී ආබාධිත වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන අජිත් පෙරේරා මහත්මයා ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිහිල්ලා මගේ අයිතිවාසිකම් මට ලබා දෙන්නැයි ඉල්ලා සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයේ දී ඉතා පැහැදිලිව ආණ්ඩුවට  නියෝග කළේ කුමක්ද? 2016 වන විට ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ දී මෙම කොන්දේසි ඉටු නොකරන කිසිම ගොඩනැගිල්ලක් අනුමත නොකළ යුතුයි කියලයි. නමුත් අපි දැන් ඉන්නේ 2019 වර්ෂයේ. මෙවර අය වැය කතාව කියද්දී ගරු මුදල් ඇමතිතුමන් කියනවා අපි 2023 වන විට එය ඉටු කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා. 2006 දී කිව්වා 2010දී කියලා. 2009 දී කිව්වා 2016 දී කියලා. දැන් 2019 දී කියනවා 2023 දී තමා අපි ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශයේ සම අවස්ථාව ලබා දෙන්න කියලා. පරණ කාලේ කතාවක් තියෙනවා බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා. මේ ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශයේ සම අවස්ථාව ලබා දීම අද නොවේ හෙට කියන ප්‍රතිපත්තිය ද ආණ්ඩුව අනුගමනය කරන්නේ කියලා අපිට ආණ්ඩුවෙන් අහන්නට වෙනවා.

2011 සම්මත කළ පනතක් එක්ක දෘශ්‍යබාධිත පුද්ගලයන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ගැටලු බොහෝ දුරට   විසඳී තියෙන්නේ. මැතිවරණ කොමිසමේ සභාපති තුමන් ඒ පිළිබඳව සුවිශේෂි උනන්දුවක් දක්වමින් කටයුතු කිරීම ගැන එතුමන්ට ප්‍රණාමය පුද කරන්නට අපි මේක අවස්ථාවක් කරගන්නවා. රෝද පුටුවෙන් ආබාධිත පුද්ගලයෙක් ඡන්දය පාවිච්චි කිරීම සඳහා යද්දි ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වීමේ ගැටළු තියනවා. ඒ වගේම ඡන්දය ලකුණු කරන්නට සකසා ඇති මේසය හිටගෙන ඉන්න පුද්ගලයෙකුගේ උසටයි සකසා තියෙන්නේ. ඉතින් අසීරුවෙන්  ඡන්ද පත්‍රිකාවේ කතිරය සලකුණු කර ගත්තත් එය ඡන්ද පෙට්ටියට දැමීමත් අසීරුයි.  මොකද එය සකසා තිබෙන්නේ සිටගෙන සිටින පුද්ගලයකුගේ උසට සරිලන ආකාරයටයි. සම අවස්ථා ලබාදීමට 12 (1)  වගන්තිය සැබෑ ලෙසින් අර්ථ ගැන්වීමට නම් අපි ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව මීටත් වඩා සංවේදී විය යුතුයි.

සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිතුමන් මේ පිළිබඳව අවධානය යොමු කරලා ඉතා හොඳ යෝජනා ඉදිරිපත් කළා.  යම් නිවසක ආබාධ සහිත පුද්ගලයෙකු සිටිනවා නම් ඡන්ද හිමි නාම ලේඛණයේ එම පුද්ගලයාගේ නම  ඉදිරියෙන් ඔහුගේ ආබාධය කුමක්ද යන්න සඳහන් කිරීමෙන් එම අයට අවශ්‍ය සුවිශේෂී පහසුකම් සපයා දීමේ හැකියාව ලැබෙනවා. සමාජ සේවා අමාත්‍යාංශයට අදාල රෙගුලාසි නිකුත් කිරීමේ දී මේ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරාවි යැයි මා සිතනවා.

ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද ?

අපේ රටේ ලක්ෂ දාසයක් ආබාධ සහිත පුද්ගලයන් සිටිනවා. ඔවුන්ට සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමේ අයිතිය ලබාදීමට සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයට පමණක් පුළුවන්කමක් නෑ. සමස්ථ ජාතියම ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. සෑම අමාත්‍යාංශයක් තුළම මේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින ආබාධ සහිත වූවන් සඳහා කේන්ද්‍රයක් තිබිය යුතුයි. එය  ඒකකයක් වෙන්නට පුළුවන්.  මධ්‍යස්ථානයක් වෙන්නට පුළුවන්. පුද්ගලයෙක් හෝ නිලධාරියෙක් වෙන්නත් පුළුවන්. ඒ අමාත්‍යාංශයේ බලපෑමේ පරිමාව අනුව තීරණය වුනු ආබාධිත කේන්ද්‍රීය ඒකකයක් සෑම අමාත්‍යාංශයකම අප විසින් ගොඩනගන්නට ඕනෑ.

අධ්‍යාපනයේදී අන්ධ අයට බේල් ක්‍රමයෙන් අධ්‍යාපනය ලැබෙනවා. ඒ විදිහටම ශ්‍රවණාබාධිත පුද්ගලයන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් කටයුතු කළ යුතුයි. සෞඛ්‍ය සම්බන්ධයෙන් ද මේ ගැටලුව ඊටත් වඩා ඇති වී තිබෙනවා. ශ්‍රවණ ආබාධයකින් පසුවන පුද්ගලයෙක් අද රෝහලකට ගියොත් තමන්ගේ ඇඟේ තිබෙන අමාරුව වෛද්‍යවරයාට කියන්නට ඔහුට හැකියාවක් නැහැ. මොකද ඔහු කතා කරන සංඥා භාෂාව වෛද්‍යවරයාට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන කෙනෙක් රෝහලේ ඇත්තෙත් නැහැ.  නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙනවා නම් ආබාධිත කේන්ද්‍රයක් මෙම කේන්ද්‍රය හරහා මෙවැනි පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම අවශ්‍ය විධිවිධාන යෙදීමේ හැකියාව තියෙනවා.

ශ්‍රව්‍යාබාධිත අම්මා කෙනෙක් මට ඉතාම සංවේදී කතාවක් කිව්වා. ඇය ගැබිණියක් වී සිටිය දී නිවසට පැමිනෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය  උපදෙස් ලබා දෙන්නේ ඇයට නොවේ.  ඇගේ ආච්චිටයි. මොකද ඇගේ අම්මාත් ගෙදර නැහැ.  ආච්චිත් ඇයත් පමණයි ගෙදර ඉන්නේ.  ඇය කතා කරන භාෂාව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ට තේරෙන්නෙත් නැහැ.  ඒ නිසා ඇයට ලබා දිය යුතු උපදෙස් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ඇගේ ආච්චි අම්මට පවසනවා.  නමුත් ඇයගේ ඇඟට දැනෙන හැඟීම් අපහසුතාවයන් ආච්චිට තේරෙන්නේ නැහැ. එය කියා ගැනීමේ හැකියාවකුත් නැහැ. මේ නිසා ගැබිනි මාතාවත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අතර සන්නිවේදනයේ ලොකු පරතරයක් ඇතිවුණා. ආබාධිත තත්ත්වයෙන් දුක් විඳින මේ අම්මට ලැබෙන්න තිබුන එකම සහනය  වන එම දරුවා ගැබිනි සමයේ ම එම අම්මට අහිමිවීම එහි ප්‍රතිඵලයක් විදිහට සිදුවුණා.

 එවැනි දේවල් තවත් නොවෙන්නට නම් වේදනා විඳින අම තවත් වේදනා දෙන මේ කුරිරු ක්‍රමය වෙනස් වෙන්නට නම් එවැනි ආබාධයන්ට ලක් නොවුණු පුද්ගලයන් වන අපි ඔවුන් ගැන මීට වඩා සංවේදී විය යුතුයි. ඔවුන්ටත් අප භුක්ති විඳින ජීවිතය භුක්ති විඳීමට අවශ්‍ය කරන පරිසර සකස් කළ යුතුයි කියන එක ගරු සමාජ සේවා අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරනවා.

අද ලෝකයේ ඕනෑම රටක ආබාධිත අයටත් රක්ෂණයක් ලබා ගන්න පුළුවන්.  ඇතැම්විට අවදානම සලකලා ගෙවන්න වන වාරිකයේ ගාන වැඩි වෙන්න පුළුවන්. නමුත් රක්ෂණයක් ලබා ගන්නට පුළුවන්.  අද ආබාධිත පුද්ගලයන් වාහන එලවනවා. නමුත් වාහනය රක්ෂණය කරන්න බැහැ එළවන්නේ ආබාධිත පුද්ගලයෙක් නම්. ජීවිත රක්ෂණයක් ලබා ගන්න බැහැ.  වෛද්‍ය ආධාර රක්ෂණයක් ලබා ගන්නට බැහැ. තවත් අය අප සමග කියනවා අඩුම තරමින් බැංකු ගිණුමක් වත් අරින්නට බැහැ කියලා. මෙය ඔවුන් අප සමාජයේ තවත් පුරවැසියන් පිරිසක් එකියන පිළිගැනීම ලබා දීම ප්‍රතික්ෂේප කිරීමක්.

මම කලින් සඳහන් කළා ආබාධිත පුද්ගලයන් ලක්ෂ දාසයක් මෙරට ජීවත් වෙනවා කියලා. ඒ අයගේ අයිතිවාසිකම් කියන කාරණය පිළිගන්න සූදානම් නැත්නම් එම අයිතිවාසිකම් ඉටුකිරීමේ යුතුකමක් තිබෙන බව පිළිගන්නට සූදානම් නැත්නම් අඩුම තරමින් මේ ඡන්ද ලක්ෂ දාසය ගැනවත් හිතන්න. ලංකාවේ තෙවැනි විශාලම පක්ෂය බවට පත්වීමට අවශ්‍ය තරම් ඡන්ද ප්‍රමාණයක් තමයි මේ ලක්ෂ දාසයක් කියන්නේ. ජනාධිපතිවරණයක් එනකොට ළුණු බිකත් බඩටනේ කියලා පුංචිම පුංචි දේශපාලන පක්ෂයටත් පොරොන්දු දෙනවා. නෝනයි මහත්තයයි විතරක් ඉන්න පක්ෂය පවා තමන්ගේ ගොඩට එකතුකර ගන්නවා. ඉතින් මේ ලක්ෂ 16 පිළිබඳ අයිතිවාසිකම් කෝණයෙන් බලන්නට බැරිනම් ඡන්ද කුට්ටියක් දෙස බලන විදිහට වත් බලලා ඔවුන්ගේ අයිතිවාසිකම් රැකීමට අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා.

අරවින්ද අතුකෝරල.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: