අවාසියට වඩා හෘද සාක්ෂිය ප්‍රභලයි.ගෞරවනාම ලබමින් කරූ කියයි

යුක්තියේ මිනිසා෴ ගරු කථානායක දේශබන්දු කරු ජයසූරිය මැතිතුමන් වෙත රටේ සමස්ත ජනතාව වෙනුවෙන් මල්වතු පාර්ෂවයේ මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින්  ෴ ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී෴ නමින් ගෞරව නාමය පුද කරන ලදී.

එම අවස්ථාවට සහභාගී වෙමින් කතානායකවරයා දැක්වූ අදහස් මෙසේයි.

“අද මාගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් සලකනවා. මාගේ ආදරණීය දෙමාපියන්ගෙන් ලත් ආභාශයත්, කුඩා කල සිටම මා මහා සංඝරත්නය හා විහාරස්ථාන සමග ඇති කරගත් කිට්ටු ඇසුර නිසාත්,  දැහැමි ජීවිතයක් ගත කිරිමට හැකි වුනා. මාගේ ගමේ පන්සල මෙන්ම මගේ මවගේ  නිජබිම වූ  අත්තනගල්ලේ රජ මහා විහාරස්ථානයත් මා නිතරම ආ ගිය තැනක් වුනා. මාගේ මිත්තනිය එහි ප්‍රධාන දායිකාවක් වුනා.

ඉන්පසු කොළඹ ආනන්ද විදුහලේදී දේශප්‍රේමීන් වශයෙන් සැලකෙන එල්. එච්.  මෙත්තානන්ද, ආචාර්ය ඊ. ඩබ්ලිව්. අධිකාරම්, එම්. ඩබ්ලිව්. කරුණානන්ද වැනි වියතුන් අපට යහමග  කියාදුන්නා. 1955/56 ආනන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් වශයෙන් බෞද්ධ  කොමිෂන් සභා වාර්තාව සති අන්තයේ මරදාන දුම්රිය ස්ථානයේ සහ කොටුවේ බස් නැවතුම්පලේ හා දුම්රිය‍පලේ අලෙවි කළ ආකාරය අද මෙහිදී සිහිවනවා.

1956 සමාජ විප්ලවයකට මුල් වූයේ එම කොමිෂන් සභා වාර්තාවයි. ඉන්පසු හමුදා නිලධාරියකු, පෞද්ගලික අංශයේ අවුරුදු 32 සේවයේදී, තානාපතිවරයෙකු, නගරාධිපතිවරයෙකු, පළාත් විපක්ෂ නායකවරයෙකු, මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු  හා වර්තමානයේ කතානායක වරයා වශයෙන්ද  මාගේ අයිතිවාසිකම් වෙනුවට යුතුකම් ඉටු කිරීමට කැප වුනා.

ජාතික සමාජයීය හා ශාසනික කටයුතු වලදී මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා මා සෑම විටම අනුගමනය කළා.රට ත්‍රස්තවාදයෙන් මහා විනාශයට පත් වන විට ඔබවහන්සේලාගේ උපදෙස් අනුව පැවති රජයට සීමිත කාලසීමාවකට ශක්තිය ලබා දුන්නා. එය දේශපාලන වශයෙන් මට අවාසි වුවද හෘද සාක්ෂිය  අනුව මා ක්‍රියා කළේ එය මා විසින් අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු ජාතික යුතුකමක් ලෙස සැලකූ නිසයි. මාගේ ජීවිතයේ අවසාන  මොහොතේ පවා ඒ ගැන සිතමින් මට මානසික තෘප්තියක් ලබා ගත හැකියි. ඒ තීරණය ගැනීමට මා දිරිමත් කළ ආකාරය මට සිහිවනවා.

මා උපතින් සිංහලයෙකු හා බෞද්ධයකු වුවද මා ජාතිවාදියෙකු හෝ ආගම්වාදියෙකු නොවූයෙමි. මාගේ ජාතිය, මාගේ ආගම මා උපතේදී ලත් දෙයක් මිස ඉල්ලා ගත් දෙයක් නොවන නිසා බුදුරජාණන් වහන්සේගේ  පිවිතුරු දේශනා අනුව අනෙකුත් ආගම් හා ජාතීන්ට ගරු කරමි. 1994 වර්ෂයේදී මා දේශපාලනයට ඇතුල් වූයේ, නිදහස් අධ්‍යාපනයේ පල ලැබූ මා ඒ ණය ගෙවීම සඳහා රටට සේවය කිරීමටයි.

එමෙන්ම එම තීරණය මා අයැදුම් කරගත් දෙයක් නොව පක්ෂ නායකතුමාගේ  විශේෂ ආරාධනයෙනි. එදා සිට වර්තමානය දක්වා ගැටුම් චරිත ඝාතන වලින් තොර ප්‍රතිපත්තිගරුක පිරිසිදු දේශපාලනයක නිරත වීම මාගේ  ප්‍රතිපත්තිය විය. එමෙන්ම මා දේශපාලනයට පිවිසි දා සිට පළමු අවස්ථාව හැර  පෝස්ටර්, බැනර්, කට් අවුට්,  පොලිතින් ආදී කිසිවක් භාවිතා නොකලෙමි. එය දේශපාලනයේ ආදර්ශයක් වීම ගැන මා අතිශයින් ප්‍රීති වෙමි.  ඒ වෙනුවෙන් මට ආශිර්වාද කළ සියළු දෙනා ගෞරවයෙන් සිහි කරමි.   පිරිසිදු දෑතින් දේශපාලනයට ඇතුල් වූ ආකාරෙයට මා පිටව යන්නේත් එම පිරිසිදු බව රැකගනිමිනි. රට වැසියනට යුක්තිය, සාධාරණ හා නීතිය ඉටු කර දීමටත්, මොන යම් අභියෝග හා තර්ජන පැමිණියද ප්‍රජාතන්ත්‍රවාදය රැක දීම පිණිසත්, ස්වාධීන රාජ්‍ය සේවය, පොලීසිය හා අධිකරණය රැකදීමටත් දිවි හිමියෙන් කැපවූයෙමි.

තරුණ පරපුරට රට බාර දීමට අපට විශාල අභියෝග වලට මුහුණ දීමට සිදුවනු ඇත.  සොබාදහමේ දායාදයක් වන භාග්‍යවත්  භූමියේ පරිසරය සුරැකීමද අප විසින් ඉටු කළ යුතු වැදගත් කාර්යභාරයකි. නිදසට පෙර උපන් පුද්ගලයෙකු වශයෙන් මේ රටේ පැවති සාරධර්ම, උතුම් මිනිස් ගුණංග මෙන්ම  අප ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදය ඊළඟ පරපුරට රැක දීම සඳහා අප ක්‍රියා කලේ ඔබ වහන්සේලා මට ලබා දුන් අවවාද අනුශාසනා මෙන්ම ශක්තිය හා ධෛර්යය නිසයි.

අවසාන වශයෙන් අද මා වෙත අති ගෞරවනීය මහා නාහිමිපාණන් ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් පිදෙන මෙම ගෞරව නාමය රැකගෙන මා මිහිදන් වනතුරු මා විසින් ඉටු කළ යුතු ජාතික, සමාජයීය හා ශාසනික යුතුකම් නොපිරිහෙලා ඉටු කරන බවට අති මහත් ගෞරවයෙන් හා භක්තියෙන් ප්‍රතිඥා දෙමි”.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here