චීන ණය උගුලේ ජීවමාන උදාහරණය ශ්‍රී ලංකාවයි: නලින්ද ජයතිස්ස

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුන දී ඇති ණය අර්බුදයට චීන ආධාර යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති හා චීන ණය ආධාර ප්‍රධාන සාධකයක් වී ඇති බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ. ඒ පිලිබඳව Colombo Gazette Sinhala සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස අදහස් දැක්විය.

ශ්‍රී ලංකාව මුහුන දී ඇති බව කියන විදේශීය ණය අර්බුදය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ දැක්ම පැහැදිලි කලොත්.

විදේශීය ණය හෝ දේශීය ණය වේවා අපි දැන් රටක් විදියට රුපියල් බිලියන දස දහසකට වැඩිය ණයයි. කලින් නම් ආණ්ඩු කිව්වා යුද්ධය නිසා ණය ගන්න සිදුවුනා කියල. ඊට පස්සෙ කිව්වා සංවර්ධනය නිසා ණය ගන්න වුනා කියල. නමුත් මෙම කාරණා දෙකම බොරු කියල දැන් ඔප්පු වෙලා ඉවරයි. මොකද 2009 වන විට අපේ ණය ප්‍රමාණය වුනේ රුපියල් බිලියන 4161 යි. එතකොට 2014 අග ඒකියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වෙන අවස්ථාව වන විට තිබුනෙ රුපියල් බිලියන 7360යි. ඒ කියන්නෙ යුද්ධය අවසන්වෙලා ගෙවුනු වසර පහකදි රුපියල් බිලියන 3000 කින් වැඩිවෙලා තියෙනවා. ඊට පස්සෙ යහපාලන ආණ්ඩුව බිහිවෙල වසර තුනක් ඇතුලත තවත් බිලියන 3000 කින් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා යුද්ධය හෝ සංවර්ධන ව්‍යාපෘති හෝ ණය වැඩිවීමට හේතුවයි කියන කාරණය වැරදියි.

මේක අර්බුදයක් වෙන්නෙ කොහොමද?

විගනකාධිපතිවරයා ගිය අවුරුද්දෙ කියා තිබෙනවා ලංකාවේ ණය බිලියන 11,000 ක් වෙනකොට රටේ වත්කම් තියෙන්නෙ බිලියන 1000 ක් කියලා. රජයේ ඇස්තමේන්තුව අනුව මේ වසරේ රටට ගෙවන්න වෙලා තියෙනව ඇමරිකානු ඩොලර් බිලියන පහයි දශම නවයක ණයක්. ආසන්න වශයෙන් රුපියල් බිලියන 1100 ක ණයකුත් රුපියල් බිලියන 900 ක පොලියත් ගෙවන්න වෙලා තියෙනවා. නමුත් මේ අවුරුද්දෙ ආණ්ඩුව බලාපොරොත්තු වන ආදායම රුපියල් බිලියන 2400 ක්. ඉතින් රාජ්‍ය ආදායම සම්පූර්ණයෙන්ම වියදම් වෙන්නෙ ණයයි පොලියයි ගෙවන්න. ඉතින් ඉතිරි සියල්ල කරන්න වෙන්නෙ නැවත ණය අරගෙන. එක්කො ණය අරගෙන ණය ගෙවන්න ඔනෙ නැත්නම් ණය අරගෙන රටේ අනෙකුත් කටයුතු කරන්න ඕනෙ. මේ ණය චක්‍රයට අපි අහුවෙලා ඉන්නෙ. ඉතින් මේ චක්‍රය ඇතුලේ අපිට කවදාවත් ගොඩ එන්න වෙන්නෙ නැහැ.

එසේ නම් ණය නොගෙන රට ගොඩගන්න පුළුවං විකල්පයක් තියෙනවද?

රටකට ණය ගන්න වෙනවා. ඒක නෙවෙයි ගැටළුව මොනවටද ඒවා වියදම් කරන්නෙ කියන එක එකක්. අනෙක් පැත්තෙන් මේ රටේ බෝහෝ ව්‍යාපෘති කරන්නේ අපේ රටේ අවශ්‍යතාවට නෙවෙයි. ඒ වගේම ඒ ව්‍යාපෘති වලට ඇස්තමේන්තු හදන්නෙ හා කොන්ත්‍රාත් එක ගන්නෙත් ණය දෙන තැනින්මයි. උදාහරණයක් විදිහට මිලියන 500 න් කරන්න පුළුවං වැඩේට මිලියන දෙදාහක ණයකුත් ආරන් එනව ඒ අයම. ඔහොමයි අපේ ණය කන්ද වැඩිකරගෙන තියෙන්නෙ. අපිකියන්නේ ණය ගතයුත්තේ අත්‍යවශ්‍ය ව්‍යාපෘති වලට විතරයි. ඒවගේම ඒවා වියදම් කළ යුත්තේ කෙටිකාලීනව අපිට අයොජනයක් වන ව්‍යාපෘති වලට.

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගැන කථාකරන විට බොහෝ විට ඇසෙන්නෙ චීනය මගින් ලබාගත් ණය පිලිබඳව. ඇත්තටම අපි චීන ණය උගුලක පැටලිලද?

මම කළින් කිව්ව වගේ චීනයෙන් එන ව්‍යාපෘති අපේ අවශ්‍යතාවට එන ඒවා නෙවෙයි. චීනය කරන්නේ මහා පරිමාන ව්‍යාපෘතියකට ඒ අයගේ රේට් එකකට ණය දෙනවා. උදාහරණයකට හම්බන්තොට වරායත් අපේ සැලැස්මක් නොවෙයි. චීනය තමයි ඇස්තමේන්තු කලේ, චීනය තමයි ණය ගෙනාවෙ. චීනයම තමයි කොන්ත්‍රාත් එක කළේ. අපිට ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 1400 ක ණයක් ගන්න සිද්ධ වුණා. නමුත් ඒ වරායම චීනය ගන්නකොට ඒ අය ඒක ඇස්තමේන්තු කලේ ඩොලර් මිලියන 700කට. මේ චීන ණය උගුලෙ ලෝකෙම රටවල් හිරවෙමින් යන්නෙ. ඒ හිරවීමට ජීවමාන උදාහරනය වෙලා තියෙන්නෙ ශ්‍රී ලංකාව.

විපක්ෂයේ සිටින විට චීන ව්‍යාපෘති විවේචනය කරන පිරිස් ආණ්ඩුපක්ෂයට ගියාම චීන ණය පසුපසම යන්නෙ ඇයි?

පැවති ආණ්ඩුව හෝ වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන සියළු පාර්ෂවයන් කොටස් දෙකක් විදිහට සැලකුවොත් තමයි ඔය ගැටළුව පැන නගින්නෙ. ඔය දෙගොල්ලගෙම ආර්ථික ප්‍රතිපත්ති එකයි. අයවැයත් එකයි. ඒ නිසා ණය ගන්නෙත් එකම තැනකින් තමයි. ඒ වගේම ඔය දෙගොල්ලන්ගෙම ව්‍යාපෘතිත් එකයි

සංවාද සටහන – වරුණි පෙරමුණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here