Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මහසොහොන් අවතාරය අදටත් ආරක්ෂා කරන “රිටිගල”

ශ්‍රී ලාංකේය උරුමයන් ගැන කතා කිරීමේදී රිටිගල කන්ද ප්‍රධාන ස්ථානයක් වේ. රිටිගල කන්ද කදු වළල්ලකින් යුක්තය. ඖශධ කන්ද, කොඩිගල කන්ද, උණ කන්ද, ආඩිය කන්ද, පලතුරු කන්ද, අමරාපති කන්ද, උල්පත් කන්ද යන කදු පංති පරිවාර කර ගනිමින් ස්වාභාධර්මයේ අපුර්තතම කන්දකි මේ. මහා වංශයේ රිටිගල සදහන් වන්නේ අරිට්ට පබ්බත ලෙසින්. අරිට්ඨ මහා රහතන් වහන්සේ වැඩ විසූ පර්වතය ලෙසිනුත් එසේ අර්ථකථනය කර ඇත. ඉන් පසුව උච්චාරණයේ පහසුව සලකා රිටිගල ලෙසින් නම් කර ඇති බවත් ඉතිහාසයේ මතයකි. චෝල ආක්‍රමණයන්ගෙන් විනාශ වීම නිසා රිටිගල මුකලානක් බවට පත් වී ඇත.

පසුගියදා ගලෙන් බිදුන වැව සංචාරයේදී අපි රිටිගලට ප්‍රවේශ වීමු.

මුළු ගම්මානයම සොදුරු පරිසරයේ අපුරත්වය මනාව කැටි කර ගෙන තිබිණි. ප්‍රධාන වශයෙන් ගොවිතැන් සහ බෝග වගාවෙන්ගෙන් ජීවිතය සවි කරන බොහෝ ගම් වාසීන් අතර බඩ ඉරුගු වගාවද විය. මුළු රටම හිරිවැට්ටු සේනා  වාසනාවකට මොවුන්ගේ ප්‍රදේශය ආක්‍රමණය කර ගෙන නැත. අලි ප්‍රශ්නයට නම් තවමත් මෙම ප්‍රදේශයන්ට විසදුමක් නොවුයෙන් ඔවුන් දිවා රෑ නොබලා අදටත් පැල් රකිති. 

රිටිගල ඉතිහාස ගැන කියන බොහෝ කතා අතර පර සතුරු ආක්‍රමණ වලදී අපේ රජවරුන් සේනා සංවිධානය කිරීමට රිටිගල කන්ද යොදා ගෙන ඇති ,රිටිගල ජයසේන යෝධයත් මේ ඉසව්වේය. රිටිගල ප්‍රවෙෂේදී හමුවන භාන්දා පොකුණ ආසියාවේ විශාලතම පොකුණ ලෙස හැදින්වේ. විශ්මය ජනක ගල් වැඩ බොහොමයක් මේ භුමියේ තිබේ. නිධන්වී ඇති සැබෑ කතා බොහොමයක් මෙහි ඇත.

ශ්‍රී ලංකාව පුරා විසිරි ඇති සිය දහස් ගණන් උරුමස්ථාන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල පිහිටා ඇති සංස්කෘතික උරුමය සහ ස්වාභාවික උරුමය සම්මිශ්‍රණයක් වූ දුර්ලභ ගණයේ සුවිශේෂී උරුමස්ථානයකි  රිටිගල. විදේශිකයන්ට ඩොලර් 2ක්ද ලාංකිකයන්ට රුපියක් 20 ක් වූ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගනිමින් අපි  රිටිගල කුකුසේ ආරම්භය සනිටුහන් කළෙමු. ප්‍රවේශයෙදීම දෙස් විදෙස් සංචාරකයින්ට මාර්ගෝපදේශයන් ලබා දීමට පුරවිද්‍යා නිලධාරීන් මෙන්ම පුද්ගලික මාර්ගෝපදේශකයින් ගොඩකි. ඒ අයුරින් අප අසලට පැමිණි පුරාවිද්‍යා නිලධාරී වන්නිනායක අපට රිටිගල තරණය කිරීමට අදාල සැලැස්මක් සහිත අත් පත්‍රිකාව අත තබමින් අසිරිමත් රිටිගල කන්ද  ගැන පැවසු තොරතුරු ගොඩකි. දෙස් විදෙස් සැමට පොදුවේ හරි අපුරුවට ශ්‍රී ලාංකීය වරුණ මෙසේ මනාව දනවන්නට ඔවුන් ගන්නා උත්සාහය පැසසිය යුතුය. ඒ එහි ප්‍රථිපල අපේ සංචාරක කර්මාන්තයේ උන්නතියට රුකුලක් වන නිසාය.

රිටිගල කන්ද සම්බන්දයෙන් පැවසෙන ජනප්‍රවාදයේ රසවත් කථා බොහොමයක් අතර රාමායන කතා පුවතේ සදහන් ආකාරයට රාමගේ බාල සොහොයුරු ලක්ෂ්මන් යුධ බිමේදී තුවාල වීම හේතුවෙන් ඔහුට හිමාලයෙන් ඖෂධ රැගෙන ඒමේදී හනුමන් වෙතින් වැටුණු පර්වත කොටසක් වශයෙන්ද රිටිගල කන්දේ ඖශධ කන්ද සැලකේ. තවද පණ්ඩුකාභය අවදියේ සිට බලසම්පන්න යක්ෂයින් රිටිගල වාසය කරන බවත් ගෝඨයිම්බර සහ ජයසේන යන යෝධයන් අතර සටන සිදුවූ ස්ථානය වශයෙන්ද රිටිගල හැදින්වේ. එමෙන්ම අනුරාධපුර යුගයේදී ජෙට්ඨතිස්ස රජු අනුරාධපුරේට පහර දීම සදහා සේනා රැස් කලේද රිටිගලටය. මහාවංශයට අනුව රිටිගල දැනට දැකගත හැකිවන නටබුන් අතර ජන්තාඝර, පධානඝර ආදී ඉදිකිරීම් පළමුවන සේන ක්‍රි.ව. 831-851 රැජි විසින් ඉදිකර ඇත. එමෙන්ම එකී රජු රිටිගල අංගසම්පුර්ණ ආරාම සංකීර්ණද සදා තිබේ. බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ අංග සම්පුර්ණ ආරාමයක් බවට පත්වන රිටිගල පණ්ඩයන්ගේ සහ චෝල ආක්‍රමණයන්ට හසුවී විනාශ වී ඇති බව ඉතිහාසයේ සදහන් වේ. මෙවන් කතා බොහොමයකි.
අනුරාධපුර පොලොන්නරුව ප්‍රධාන බස් මාර්ගයේ මරදන්කඩවල සහ ගලෙන්බිදුනුවැව කැකිරාව මාර්ගයේ කෝන්ගහ මංසන්දියෙන්ද රිටිගල කන්දට ලගා විය හැකිය. හෙක්ටයාර් 1528 පුරා කදු පංති 7කින් පිහිටා ඇති මෙම කදුවල දේශගුණික කලාප කිහිපයකම ලක්‍ෂණ එකිනෙකට වෙනස් වීම මෙහිලා ඇති තවත් විශේෂත්වයකි. මෙහි දුර්ලබ ගණයේ ශාඛ මෙන්ම සත්ව කොට්ටසද ජිවත් වෙති.
රිටිගල කැලේ පළතුරු කැලේදී කන්න පුලුවන් වුනාට ඒවා කැලෙන් එළියට ගේන්න බැහැ. එලියට ගෙනැල්ලා කෑවොත් හොයා ගන්න බැරි අසනීප හැදෙනවලුගැමියෙක්  එසේ පැවසුවේය. “රිටිගල කියන්නේ හාස්කම් තියෙන තැනක් මහසෝනා අවතාරේ තාම රිටිගල ආරක්ෂා කරනවා කියලත් කියනවා”. පුරාතනේ සිට ජනවහරෙන් පැවතෙන මෙවන් කතා ගොඩකි. තවද රවණා කතා පුවතත් සමගද රිටිගලට ඈදුන කතාද කිහිපයකි.

දී ඇති සැලැස්ම අනුව රිටිගල තරණය කිරීම අපහසු නැත. පැය දෙකකින් පමණ හදිස්සියේ නැග බැසීමට හැකි වුවත් දිනක් වුවත් මෙහිලා ඇති අපුරුත්වයන් විදිය හැකි ස්ථානයකි මේ. විනාශ වී ගිය ස්තුප කිහිපයකම නෂ්ඨාවශේෂ, ශිලාස්ථම්භ සහිත ගොඩනැගිලි පඨක, සක්මන් මළු, ගිලන්විමේදී බෙහෙත් කල රෝහල් වල නටබුන් මෙන්ම රිටිගල වාසය කල භික්ෂුන් වහන්සේලා ජල ස්නානය කල බැද්ද පොකුණ ප්‍රමාණයෙන් ඇති විශාල ශිලා නිර්මාණයකි.

කුඩා ගල් පාලම සහිතව තනා ඇති පෙත්මග නම් වූ කවාකාර පෙනුමැති තුනක් මෙම නටබුන් අතර දක්නට ලැබෙන අතර ඒවායෙහි උපයෝගී තාවයන් නිශ්ශිතව මෙතෙක් හදුනා ගෙන නැත. කන්ද මුදුනෙන් හමුවන කළුගල් කැටයම් සහිත වැසිකිළි කැසිකිළි ගල් මෙන්ම භුක්ෂුන් වහන්සේලා වාසය කල ලෙන් මෙන්ම නටබුන්ව ඇති  කළුගල් නිර්මාණ ශ්‍රී ලංකේය ප්‍රෞඪ ඉතිහාසය ගැන අද දිනයේදී අපට දනවන්නේ මහා ආඩම්බරයකි.

වනයේ ඇති වෘක්‍ෂ ලතාවන්ට කතා කල හැකි නම් කෙතරම් දෙයක් පවසාවිදැයි මට සිතුනි. නිස්කලංක ශාන්තදායි පරිසරයේ කුරුල්ලන්ගේ හඩ මිසක් වෙනතකුත් නැත. මෙකී පරිසරය මේ සියල්ලෙන් එදා භාවනා යෝගින්ට සුවදායි පරිසරයක් නොඅනුමානයෙන්ම නිර්මාණය කරන්නට ඇත. එදා භාවනායෝගී භුක්ෂුන්ට මග සැලසූ පර්වත භුමිය අදද සිතට ගතට කියාදෙන්නේ අකුරකට සිමා කල නොහැකි පුදුමාකාර ශාන්තිදායක සිතුවිලි සමුදායකි.

කෑම වර්ග ප්ලාස්ටික් වර්ග කිසිවක් කදු තරණයේදී ගෙන ගිය නොහැකිය. ඒ මෙම අසිරිමත් පරිසරය රැක ගත යුතු නිසාය . විඩාවට වතුර රැගෙන ගියත් අපද්‍රවය ලෙස ඒවා මේ භුමියේ අත්නොහැර අදාල ස්ථානයක දැමීමම වගබලා ගැනීමේ යුතුකම සහ වගකීම අප සතුය.

තව ලියන්නට ඇති දේ බොහෝය. කඩිමුඩියේ ගොඩ බැස්ස රිටිගලට සුර්යා ලබා දී තිබු කාල හෝරාව අවසන් වී තිබිණි. හවස 5 පසුව එම භුමියේ සිටිමටද අවසර නැත. දැන් ගොඩක් හවස් වෙලා යන පාරේ අලි ඉන්න පුළුවන්. මාර්ගොපදෙෂයකු දුන් උපදෙසකි. අවදානමත් සිනහවකින් සටහන් කරමින් ආ මේ ගමන තවත් නැණ වඩන එක් ගවේෂණයක සොදුරු මතකයයන් විය.

වනජීවී සංරක්ෂිත කලාපයක් ලෙසින් දැඩි ආරක්‍ෂිත කලාපලයක් ලෙස නම් කර ඇති රිටිගල කන්ද සහිත භුමියේ රිටිගල අරණ්‍ය සේනාසනයද පිහිටා තිබේ. එමෙන්ම කළු ඇබේ විහාරය, ගලෙන්බිදුනු වැව මාර්ගයේ පිහිටා ඇති ලබුනෝ රුව අරණ්‍යය සේනාසනය, මානාකන්ද සහ හොරිවිලාරාම පුරාවිද්‍යා ස්ථානයද මේ අවට නැරබිය හැකිය. හවස්වී තිබුණු බැවින් එකී පරිශ්‍රයන්ට යාමට නොහැකී වුවත් නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් ඒ භූමියට අපි තාවකාලිකව සමු දුන්නෙමු.

ගවේෂී සංචාරයක සටහන අශන්ති වරුණසුරිය AS. , ජායාරූප සුරංජි දිසානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: