ජාත්‍යන්තරයෙන් එල්ලවන අභියෝගවලට ජාතියක් සියලු දෙනා එකතු විය යුතුයි

ජිනීවා සැසියේදීත් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියක් ඉදිරිපත්ව ඇති පසුබිමක ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලාංකාවට එල්ලවන අභියෝග වලට මුහුණදිය හැක්කේ ජාතියක් ලෙස සියලු පුරවැසියන් එක්ව සිටීමෙන් පමණක් බව අග රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසයි.

මේ රටේ හැමතැනකම තියෙන්නේ බුදුන් වහන්සේගේ ස්පර්ශය බවත් ඒ උරුමයෙන් රටේ චින්තනය ගොඩනැගී ඇති බවත් උන් වහන්සේ පෙන්වා දුන්නේය. රට ප්‍රශ්නයකට මැදිහත්ව සිටින අවස්ථාවක රට රැකගැනීම වෙනුවෙන් සියලු දෙනා එක්විය යුතු බව උන්වහන්සේ වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දෙයි.

ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාව ඉදිරිපත් කර තිබුණි. එහිදී ඇය සඳහන් කර තිබුණේ ජගත් මානව හිමිකම් කවුන්සිලයට එකඟවු කරුණු රැසක් ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වී ඇති බවය. එම වාර්තාවට අනුව ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝණය කිරීමේ චෝදනා විභාග කිරීම සඳහා දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවට ඇය නැවතත් යෝජනා කර තිබෙයි.

ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පත මානව හිමිකම් කොම්සමේ උපදෙස් සහිතව ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූලව සිදු කරන ලෙසද ඇයගේ වාර්තාවේ සඳහන්ය. එසේම මෙරට මානව හිමිකම් තත්ත්වය පිළීබඳ නිරන්තර අධීක්ෂණය සඳහා ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ දේශිය කාර්යාලයක් ස්ථාපිත කිරීමද එම යෝජනා අතරට ඇතුළත්ය.

මේ පිළිබඳ වාර්තාව ලබන මාර්තු 20 වනදා ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here